දකුණු පළාත් ප්‍රඥප්ති නීති කාරක සභාව

දකුණු පළාත් සභාවේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ප්‍රඥප්ති කාරක සභාව මඟිනි. ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ ආයතන ප්‍රධානියා මගින් ප්‍රඥප්තිය කෙටුම්පත් කරනු ලබයි. ඉන් පසුව අමාත්‍යතුමා විසින් කෙටුම්පත් කළ ප්‍රඥප්තිය පළාත් ප්‍රඥප්ති අනු කමිටුව වෙත යොමු කර නිරීක්ෂණ ලබාගෙන, පළාත් සභා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව අමාත්‍යවරයා විසින් මධ්‍යම රජයේ පළාත් සභා අමාත්‍යාංශයට යොමු කොට නීතිපතිගේ උපදෙස් ලබාගත යුතුය. භාෂාත්‍රයෙන් සකසන ලද ප්‍රඥප්ති කෙටුම්පත ප්‍රධාන ලේකම් මගින් ආණ්ඩුකාරතුමාට යොමු කොට පළාත් සභාවට යොමු කිරීම සඳහා ප්‍රථම වර නිර්දේශය ලබාගනී. අදාළ අමාත්‍යාංශය ලේකම් විසින් පළාත් සභා කාර්යාලය වෙත යොමු කොට ප්‍රඥප්ති නීති කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතුය. භාෂාත්‍රයෙන් සකසන ලද කෙටුම්පත නැවත පළාත් අමාත්‍ය මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගත යුතුය. පළාත් සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට දින 10කට ප්‍රථම ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. අදාළ අමාත්‍යාංශයේ ලේකම් මගින් භාෂාත්‍රයෙන් අදාළ පිටපත් ප්‍රමාණය සභා ලේකම්ට ඉදිරිපත් කොට පළාත් සභාවේ අනුමැතිය ලබාගත යුතුය. සභාව විසින් ප්‍රඥප්ති කෙටුම්පත අනුමත කළ පසු සභාපතිතුමා විසින් ඒ බව ආණ්ඩුකාරතුමා වෙත දැන්වීම සඳහා සභා ලේකම්‍ට දැනුම් දිය යුතුය. සභා ලේකම් විසින් ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. ආණ්ඩුකාරතුමා අනුමත කිරීමෙන් පසුව නීතියක් බවට පත්වේ. ගරු අමාත්‍යතුමාගේ අත්සනින් ගැසට් පත්‍රය පළ කරනු ලබයි.

දකුණු පළාත් සභාවේ ස්ථාවර නියෝග අංක 92 යටතේ ප්‍රඥප්ති නීති කාරක සභාව පිහිටුවා ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා ලැයිස්තුව මගින් පළාත් සභාව වෙත බලය පවරා ඇති විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ නීති සම්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ ප්‍රඥප්ති කාරක සභාව මගිනි. පළාත් සභාවේ අවසරය ඇතුව ඕනෑම මන්ත්‍රිවරයකු හට පෞද්ගලික මන්ත්‍රී ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීම සිදු කළ හැකිය. ප්‍රඥප්ති නීති කාරක සභාව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත වේ.

    කාර්යයන්

01. යම් විෂයයක් සම්බන්ධයෙන් එම විෂය භාර අමාත්‍යවරයා විසින් පළාත් සභාවේ අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන ලද ප්‍රඥප්ති කෙටුම්පත, ප්‍රඥප්ති හා නීති කාරක සභාවේ සාකච්ඡා කර අදාළ ක්‍රියාවලිය අනුගමනය කරමින් පළාත් සභා‍වේ අනුමැති‍ය ලබාදීම.


02. යම් විෂයයක් සම්බන්ධයෙන් දැනට පනවා ඇති ප්‍රඥප්තියක් සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත්කර සම්මත කරදීම.


03. වාර්ෂික විසර්ජන ප්‍රඥප්තිය සම්මත කිරීම.

    සමාජ ප්‍රතිලාභ

01. පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් පළාතට ගැලපෙන ප්‍රතිපත්ති සකස් කර ගත ‍හැකිවීම.


02. පළාත් සභාව වෙත පවරා ඇති විෂයයන් සම්බන්ධයෙන් පළාතට ගැලපෙන පරිදි නීති රාමුවක් ගොඩනගා ගත හැකිවීම.


03. පළාත් සභා විෂයයන් සම්බන්ධයෙන් පළාතට ගැලපෙන සේ ප්‍රඥප්ති (නීති) සකස් කර ගත හැකිවීම.


04. ප්‍රඥප්තිවල සඳහන් කරුණු සම්බන්ධයෙන් සුදුසු අධිකරණයක් මඟින් ගැටළු විසඳාගත හැකි වීම.