මහජන පෙත්සම් කාරක සභාව

දකුණු පළාත් සභාවේ ස්ථාවර නියෝග 96 යටතේ මහජන පෙත්සම් කාරක සභාව පිහිටුවා ඇත. දකුණු පළාත් සභාව නියෝජනය කරනු ලබන සියළුම පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීතුමන්ලා නියෝජනය වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුන් නම් කරන අතර මෙම කාරක සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. කාරක සභාවේ සභාපතිවරයා පළාත් සභාවේ සභාපතිවරයා විසින් පත් කරයි. මන්ත්‍රීවරයෙකුගේ නිර්දේශය සහිතව සභාපතිවරයා ආමන්ත්‍රණය කොට ඉදිරිපත් කරනු ලබන පෙත්සම් ප්‍රථමයෙන් කාර්ය උ‍ප‍දේශක කාරක ස‍භා‍වේ දී සාකච්ඡාවට ගනු ලබන අතර, එහි දී පළාත් සභා විෂයට අදාළ කරුණක් නම් එම කාරක සභාවේ අනුමැතිය ලබා දෙන අතර, එය පළාත් සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර සභාගත කරනු ලැබේ.

    කාර්යයන්

* මහජන පෙත්සම්කාරක සභාව වෙත ඉදිරිපත් වන පෙත්සම් සම්බන්ධයෙන් අදාළ විෂයභාර අමාත්‍යවරයාගෙන් වාර්තා කැඳවීම.

* එම වාර්තා ලැබුණ පසු අදාළ පෙත්සම හා සම්බන්ධ සියළු පාර්ශවයන් පෙත්සම් කාරක සභාව වෙත කැඳවා අදාළ ගැටළුව සම්බන්ධයෙන් සියළු දෙනාගේ එකඟත්වයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.


* ඉදිරිපත් වන පෙත්සම් සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශ පළාත් සභාවේ සභාගත කළ පසුව අදාළ පෙත්සම සම්බන්ධ සියළු පාර්ශවයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.


* නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසු විපරම් සිදු කිරීම.


* විමර්ශනයෙන් අනතුරුව දෙන ලද නිර්දේශ යම් පාර්ශවයක් විසින් ක්‍රියාත්මක නොකරයිනම් ඒ සම්බන්ධයෙන් නැවත සොයා බැලීම.

    සමාජ ප්‍රතිලාභ

* පළාතේ ජීවත්වන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම.


* රාජ්‍ය ආයතන වෙතින් සිදුවන ප්‍රමාද දෝෂයන් වළක්වා මහජනතාවගේ ගැටළුවලට සහනයන් සැලසීම.


* රාජ්‍ය ආයතනවලින් සිදුවන ප්‍රමාද දෝෂයන්වලදී අසාධාරණයට ලක්වන්නන් වෙනුවෙන් මහජන නියෝජිතයින් පෙනීසිටීම.


* කලක් තිස්සේ විසඳුම් නොලැබූ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම.


* ගැටළුවට අදාළ සියළුම පාර්ශව කැඳවා විමර්ශනය කරන බැවින් එකම අවස්ථාවේ ගැටළුව සඳහා සාර්ථක විසඳුමක් ලබාදිය හැකිවීම.


* විවිධ ගැටළුවලදී නීති මගින් කටයුතු කිරීමේදී වැයවන මුදල්, කාලය, ශ්‍රමය මෙමගින් ඉතිරිවීම.


* රාජ්‍ය ආයතනවල සිදුවන අකටයුතුකම් හා නිලධාරීන්ට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් සියළුම පාර්ශව කැඳවා විමර්ශනය කර නිර්දේශ ලබාදීම.